Wednesday, November 23, 2011

සද කිදුරු

මේක මේ ඊයෙ පෙරේදා උන සිද්ධියක්. සිද්ධියක් කීවට මේක ඇතුලේ සිද්ධි මාලාවක් තියනවා..
මේ පැත්තේ කස්ටියක් සද කිදුරු නටනවා කියලා දැනට සෑහෙන කාලෙකට ඉදන් පුහුණුවීම් කටයුතු කරා. අපිත් බලන් හිටියා ගිය සිංහල අවුරුද්දට නටයි, වෙසක් එකට නටයි, පොසොන් එකට නටයි කියලා. කොහොමෙන් කොහොම හරි යාන්තම් කස්ටිය නත්තලට කලින් ඊයෙ පෙරේදා දවසක් නටන්ඩ සෙට් උනා.

මටත් පුංච් ආරාධනා කැල්ලක් ලැබුන නිසා මාත් ගියා බලන්ඩ (නැතත් යනවා ආරාධනාවක් ලැබුණා කියලා කියන්ඩ ඕන නිසයි ඒ කැල්ල දැම්මේ). ඔන්න ටිකක් වෙලා ඉදගෙන ඉද්දි වැඩේ පටන් ගත්තා. දේශණයක් කරපු හාමුදුරුවෝ දුන්නා නියමෙට වර්ණාව. මේවා අනාගතේට ගෙනියන්ඩ ඕන අරකයි මේකයි විස්තර එමටයි. ඔන්න වැඩේ පටන් ගත්තා කිදුරයි කිදුරියි නටනවා.

ඇත්තම කියන්නම්. ඔයාටයි මටයි ඉතිං බොරු මොකටද? සද කිදුරු නෙවේ උන් නැටුවේ දස කිදුරු. සමහරු නම් කීවේ වදුරු නටනවා කියලා. සද කිදුරු කථාව පිරිසක් මැදට ගෙනත් අමු ු අමුවේ මරණවා. බලෙන් කථාවට චරිත රිංගවලා විකරයයි. බලං ඉදලා ටිකකින් මාත් නැගිටලා වට පිටේ රවුමක් යන්ඩ සෙට්උනා.

දැන් කිදුරු ඉවරයි. ඉවරයි කියන්නේ ඉවරේ ඉවරයි ආයෙ ගන්ඩ දෙයක් නැ. ඊලගට කාලගෝල ගේ සීන් එක යනවා. ඔය අස්සේ පැත්තක හෙන වලියක් එතන වෙනම නාට්‍යක්. උඩ පැනලා ගහනවා. බිම දිගා වෙලා ගහනවා, දුවගෙන ඇවිත් ගහනවා. සෙල්ලං ගොඩයි. මම හොරෙන් වගේ කාල ගෝල දිහාත් බැළුවා කාල ගෝල රගනවා. ලෝකෙ පෙරලුනත් ඌ රගනවා.

අම්බානක ගුටිකාපු එකෙක් ටිකක් දුර දුවලා phone එක කනේ තියන් මෙහෙම අහපි.
"පනහක් විතර ඉන්නවා.. මොකද කියන්නේ ගහන්ඩද ඔක්කොටම"
ඒකට නම් මාත් තිග්ගැස්සුනා. ඇටකිචි කොල්ලෙක් උනත් මූ ඔක්කොටම ගැහුවොත් එහෙම. කිදුරන්ගේ මෝඩ ජෝක් වලට හිනා නොගිය අපිට දැන්නම් පොඩි හිනා කැල්ලක් ගියා. කොහොමෙන් කොහොමෙන් හරි වලිය එහෙ මෙහෙ උනා කියමුකෝ. මෙන්න වයසක ආච්චියෙක්
"චන්ඩි ඉන්නවාද? කෝ.. චන්ඩි කෝ.."
ඒ පාරනම් අපි බඩ අල්ලන් බය වෙලා. මේ පැත්තේ ආච්චිලා මෙහෙම නම් සීයලා කොහොම ඇත්ද කියලා..

ඊලට මනමේ නමින් එකක් පටන් ගත්තා. නම් ටික නම් මනමේ ම තමා. නොදන්න නම් ටික්කුත් තිබ්බා ඒ අර දෙන්ඩ චරිත නැතුවට දීපුවා. මුන් මනමේ කුමාරිව සබේ මැද්දට ගෙනත් දූෂණය කරනවා. මේවා බලන් ඉන්ඩ බැ මම ගියා ගෙදර...

එක දවසක් හැන්දැවක

දවසක් යාළුවෙක් call කරලා කියපි
"හුගදවසකින් සෙට් උනෙත් නැනේ මචං හෙට වරෙන් ටිකක් කතා කර කර ඉන්ඩ "
ඔන්න ඉතිං මාත් ගියා කියමුකෝ. කාලෙකට පස්සේ යාළුවෝ තුන් දෙනෙක් හම්බුනාත් කියමුකෝ. ඔන්න
කට්ටියම හරි බරි ගැහිලා ඉදගෙන අර හැමෝටම එන්ඩ කියපු එකාම කතාව පටන් ගත්තා. "අපිට හුග දවසකින්
සෙට් වෙන්ඩ බැරි උනානේ යමුද ට්‍රි.."
ට්‍රී......ං ට්‍රී......ං
උගෙ ෆෝන් එක වදිනවා. අපි එතනින් එනකංම ඌ කතා කරන වචන 5ක ට සැරයක් කෝල් එකක් එනවා.
හරියට දෙරණ නාලිකාවේ නාට්‍යක් බලනවා වගේ නාට්‍ය විනාඩියයි දැන්වීම් විනාඩි පහයි.

අපි මිනිහා කෝල් කරන දිහා බලන් ඉන්ඩයැ තව එකෙක් කතාවක් පටන් ගත්තා. ඌගෙ හැම කතාවක්ම ඉවර
වෙන්නේ කණුවකින්. හරියට අර මැක්කාගේ කතා වගේ. පොල් ගහ ගැන කතා කරත් ඉවර වෙන්නේ
මැක්කාගෙන්.

අනිකට බිස්නස් බිස්නස් මට මතක විදිහට ඌ බිස්නස් කියන වචනේ හතලිස් පාරකට වඩා කියන්ඩ ඇති.

ඔය අව්අස්සේ මාතෘකාවක් නැතුව හිටපු මට කැමරාවක් හම්බුනා. :D

"අපි දැන් යමු නේද මචං" කට්ටියම කියපි

Thursday, October 20, 2011

අප්පච්චී....................

තඹ පාට කොන්ඩ කරල් දෙක
ගැටගැහුව රතු පටිය
සිදුරු උන සෙරෙප්පුව
රකින පා යුවල
බොර පාට සුදු ගවුම
නමට පමණක් සුදු උන
ගිනි අව්ව මැද
අකුරට යන දිහාව
බංකරේ ඉදන්
හැඩ බැලුව
නුඹේ කම්මුල් දිගේ
කදුලක් ගලා ගියේ
ඇයි අප්පච්චී..
සිහි උනාද
නුඹෙ දෝණී....................

Tuesday, October 18, 2011

ජීවිතය.......




මේ දෙන්නාව හම්බඋනේ කණ්ඩලමේ දී. වැවේ මාළු අල්ලමින් හිටපු පොඩි කොළුගැටව් දෙන්නෙක්. අපිටත් ඒ වෙලාවේ මාළු අවශ්‍යතාවයක් තිබුන නිසා මාළු මිල ගනන් ගැන විමසුවා.
"අපි මාළු ඇල්ලුවාට ගණන් දන්නේ නෑ..."
පොඩි උන්ගේ උත්තරය උනේ. ඒ සැණින් අප වෙත ආපු මැදි වියේ පුද්ගලයෙක්. කොල්ලෝ දෙන්නාගේ මාළු අපට විකුණා අතුරුදහන් උනා.
පොඩි උන් දෙන්නා ආයෙත් වැවට.............

Sunday, October 16, 2011

මරණය දැන සිටි මිනිසෙක්...

මේ කතාවේ එන කතා නායකයා මගේ ඥාති වරයෙක් වීම නිසා මෙහි එන සුළු සුළු සිදුවීම් ද මා හොදාකරව දනිමි. අනෙක මෙහි එන සිදුවීම සත්‍ය සිදුවීම් බවත් දන්වනු කැමැත්තෙමි.

මොහු නැදැ කමට මගේ බාප්පා කෙනෙක් වන අතර ගමේ සියලුම දෙනා හදුනා ගත්තේ නිළමේ මමා ලෙසය. කලින් සෙලින්කෝ ආයතයේ සේවය කල බාප්පා සෙලින්කෝ හුට පටයෙන් පසුව රැකියාව වශයෙන් කලේ ගොවිතැනයි. ඉතා අහිංසක මිනිසෙකු වන නිළමේ බාප්පා අව්‍යාජ මිනිසෙකු බව ද සදහන් කල යුතුමය. උදේ වරුවේ පැය දෙකක් පමණ පාර අයිනේ තනා ගත් අටිටාලක (අපි නම් කීවේ නිළමේ බාප්පාගේ ෆුඩ් සිටිය කියලාය) එලවළු විකුණන මොහු එම පැය දෙක අවාසනයේ ඉතිරිවන සියල්ල ගම්මු අතර නොමිලේ බෙදා දී නැවතත් වගා භුමියට පිටත්වෙයි. කිරි එළදෙනක් ඇති කලද කිසිම දවසක කිරි විකුණු බවක් මා නොදනී.

අනාවැකි පෙන්වීම ආරම්භ වන්නේ තමන්ට තනියම නුවර යැමට අවශ්‍ය බව පවසමින්ය. දිනෙක බැංකුව වෙත පැමිණෙන ඔහු තමන් සතු සියලු ගිණුම් පවුලේ උදවියට මුදල් ලබා ගත හැකි ආකාරයට සකස්කොට තිබේ. නැවත නිවසට පැමිණි මොහු තමන් සතු කිරි එළදෙන වෙනත් අයෙකුට රැකබලා ගන්නා පොරොන්දුව පිට නොමිලේම ලබා දී තිබේ. මෙසේ දෙන්නේ ඇයිද විමසූ විට
"මේවා ආයේ කවුරු බලා ගන්ඩද? "
ඔහුගේ පිලිතුර වී තිබේ.

අනතුර සිදුවීමට පෙර දින, මුළු නිවසම පිලිවලකට සකස් කරන මොහු තමාගේ කිරි එලදෙණගෙන් ලබා ගත් අවසන් ගොම පිඩ ගා ලිප ද සකස්කර තිබේ.

අනතුර සිදුවන දින තම බාල පුතා පාසල් යන්නට සැරසෙන විට
"චූටි පුතේ උඹට අද ස්කෝලෙ යන්ඩම ඕනද..?"
යැයි අසා තිබේ. එවිට පුංචි අම්මාගේ මැදිහත් වීම නිසා චූටි පුතාට පාසල් යන්න ට සිදුවී ඇත. පසුව පිහියක් පමණක් උපයෝගී කරගෙන බංකු තුනක් සාදා තිබේ.
"ගෙදර හතර දෙනෙක් ඉද්දි මොකටද බංකු තුනක්, ලොකු පුතා නිවාඩුවට ආවාම තරහා වෙයි"
"නැ මට ආයෙ බංකු ඕන නැ " පිලිතුර වී තිබේ.

ඉණිමගක නැග වහලය සකස් කරන්ට යැමේදී ඉණිමග කැඩී බාප්පා බිම ඇද වැටී අනතුරට ලක්වෙයි.

තනිව මහනුවර ඒමට අවශ්‍යයි පැවසු පුද්ගලයා. කෑගල්ල රෝහලටත් එතනින් මහනුවර රෝහලටත් පැමිණේ. මහනුවර රෝහලේ දැඩිසත්කාර එකකයේ ඇතිවු ඇදන් හිගකම නිසා නැවතත් කැගල්ල රෝහලට රැගෙන යන නිලමේ බාප්පා එහිදී අවසන් හුස්ම හෙලීය.

අව්‍යාජ, අහිංසක මිනිසෙකු වු නිළමේ බාප්පේ ඔබට නිවන් සුව........!

Saturday, October 15, 2011

අපේ ගමට බුදුහාමුදුරුවෝ වැඩිය දා.....

ලියන්ඩ කතාවක් මතක් කර කර ඉන්නකොට මේ සිදුවීම මතක් උනේ. ගමට බුදුහාමුදුරුවෝ වඩිනවා නම් ඉන් එහාට දෙයක් කොහෙන්ද අපිට. එක හින්දා මේකෙන්ම පටන් ගන්ඩ හිතුනා.

2010 අවුරුද්දේ ජූලි මාසේ තමා කාල වකවානුව. මුළු ගම් දෙක තුනකම සෙනග පංසලට එකතුවෙලා පංසලේ ප්‍රතිසංස්කරන වැඩ. මළුවට සිමෙන්ති කැට අතුරනවා. අළුතෙන් ශාලා හදනවා සරලවම මම නම් දැක්කේ මුළු පංසලම අළුතෙන් ගොඩ නගනවා වගේ. පංසල පංසල කීවට මේක මහනුවර යුගයටත් එහා ගිය ඉතිහසයක් තියෙන රජමහා විහාරයක්. හැබැයි වැඩ කරන හැමොම ඒ පෞරාණික බවට අවම හානි සිදුවෙන විදිහට වැඩ කරන්ඩ වග බලා ගත්තා.

ගමේ ඉන්න වැඩක් පලක් කරන්ඩ පුළුවන් හැමෝම තමන්ගේ උපරිමයෙන් සහය. හැමදාම රෑට පංසලේ පනහකට හැටකට කෑම ඉදෙනවා. සමහර දවසට ඉතිං කැම අතිවිශිෂ්ඨයි එත් එවා තඹ දොයිතුවකට මායිම් කලේ නැ. ( හැමෝම නෙවේ. ) අන්න ඒ වගේ දවසක ගමේ ඉන්න අජපල් පොරක්ගෙන් නායක හාමුදරුවෝ මෙන්න මෙහෙම ඇහුවා.
"කැම එහෙම කෑවද උපාසක මහත්තයා"
"අපි නම් කෑව හාමුදුරුවනේ හැබැයි බල්ලෝ කයිද දන්නේ නෑ"
මිනිහා කියපි.

කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න අදාල දවසට කලින් දවස එලඹුනා. පංසලට එන පාර දිගට සැරසිලි. මතක විදිහට තොරණ් 7ක් ද කොහෙද. පොල් තොරණ්, ගොක්කොල තොරණ්, අළුත් එක flex තොරණ්, ඔය විදිහ නා නා ප්‍රකාර තොරණ්. චෛත්‍යකුත් හදලා තිබ්බා මතකයි. චෛත්‍ය මැදින් පාර යන විදිහට.

රැ 10ට විතර මෙන්න පොඩි හාමුදුරුවෝ සිවුරත් කැටිකරන් පිබගෙන විඩිනවා.
"අයියා.... අයියා...."
ඈත ඉදන්ම ඇමතුවා. හාමුදුරුවෝ එහෙම කරාට මට එහෙම බෑනෙ. මම හිමින් සැරේ ලගට ගිහින්
"ඇයි පොඩිහාමුදුරුවනේ.."

"හෙට පිළිමේ වඩම්මන්ඩ ලොරිය සරසන්ඩ ඕන..
පොඩි ස්ටේජ් එකක් වගේ ගහලා ලස්සනට කරන්ඩ ඕන..
ඔන්න වැඩේ අයියා බලන්ඩ
මම අයේ බලන්නේ නෑ...
වැඩේ හරිනේ...."
පෙඩි හාමුදුරුවෝ කියාගෙන කියාගෙන යනවා. මම අතුරු ප්‍රශ්ණයක් යොමු කරා.
"කෝ හාමුදුරුවනේ ලොරිය ?"
"ආ..... මග එනවා කීවා"
දැන් මම මග එන ලොරිය සරසන්ඩ හිතාගෙන ඊලග ප්‍රශ්ණයත් යොමු කරා.
"ඔය පිළිමේ කොච්චර විතර ඇතිද?"
"දණහිස් දෙක අතර පළල අඩි 9ක් විතර"
පොඩි හාමුදුරුවෝ ඇගට පතට නොදැනී කීවට මම නම් රත් උනා..

ඔන්න ඔය අව්අස්සේ ලොරිය පංසලට සැපත් උනා. මමත් ඉතිං කොල්ලෝ හතර පස් දෙනෙක් අල්ලගෙන වැඩේට බැස්සා. අපි වැඩ ලොරියේ ගෑවී නොගැවී. ගැවනේඩ බයයි මොකද ලගදි පිටගැස්මට බෙහෙත් විද්දේ නැති නිසා.

ඔන්න ඔහොම යද්දි වැඩසහන් විස්තරය වෙනස් වෙලා.
හෙට දවසේ නායක උත්සවය තියෙන නිසා අදම පිළිමය වඩම්මලා හෙට උත්සවය කරන්ඩ. ඔන්න අපි ඒකටත් "එහෙමයි හාමුදුරුවනේ..." කියලා හිටියා.
ලොකු හාමුදුරු නමක් මළුවට වැඩලා
"මල්ලිලා... අපි දැන් පිළමේ වඩම්මන්ඩ යනවා ඔයාලත් පුළුවන් අය එන්ඩ"
කීවා විතරයි. අඩි දෙකක් තුනක් උස උන්ටික ඔක්කොම ලොරියේ. ඔය අස්සේ අපේ සැදැහැවත් උපාසක මහත්තයෙක්
"නැ.. නැ.. ඕකට මහ ගොඩක් ඔන නෑ... මේ ඔක්කම ගිහින් මොනවා කරන්ඩද?
මේකට හොද දහයක් හිටියානම් ඇති."
කොල්ලෝ කුරුට්ටෝ ටික බස්සපි ලොරියෙන්. වැඩේම මට විතරක් නෙවේ හුගදෙනෙක් කලකිරුනා. උපාසක මහත්තයා දහය තෝරනවා. අපි කලින්ම ආදා පාර දැම්මා. උපාසක මහත්තයා එයාගෙ යෝධයෝ දහයත් අරගෙන ගියා...

දැන් ඉතිං කට්ටිය පංසල් වත්ත පුරාම ලිද ලග සංගම් දාලා. සද්ද ගොඩයි. කොල්ලොන්ට ගිය පංසල. මෙන්න රෑ 12ට විතර පොඩිහාමුදුරුවෝ බය වෙලා දුවගෙන එනවා
"අයියා.. පිළිමේ වඩම්මන්ඩ කට්ටිය මදිලු.. පුළුවන් තරම් ඉක්මනට කට්ටිය අරන් එන්ඩලු.."
ඔන්න ඒපාර ඉන්න ඔක්කොම එක පොදියට තියෙන තියෙන වාහන වල එල්ලිලා යනවා. ගැටඹේ පංසල ට තමා යන්නේ. එතන තමා පිළිම වහන්සේ දැනට වැඩ ඉන්නේ.

ඔන්න අපිත් ආවා. කලින් ආව යෝධයෝ දහ දෙනාට පිළිමය හොල්ලන්ඩවත් ලැබිලා නෑ. දැන් හැමෝම එකතු වෙලා විස්සක් විතර වට වෙලා උස්සන්ඩ හදනවා පිළිමය එක අගලක් ඉස්සෙන්නේ නැ..
දැන්නම් කට්ටිය ටිකක් සලිත වෙලා. (මමද ඇතුළුව)
යකඩ බාර් දෙකක් ගෙනත් කඹ දාලා හැමෝම වගේ එකතු වෙලා ඉස්සුවා.. දෙයියනේ... පිළිමේ ඉස්සෙන්නේ අගලක් විතරයි. අගල් 4 යකඩ බට නැවෙනවා පිළිමේ ඉස්සෙන්නේ නෑ. ඔය අස්සේ පිළිමේ හදපු කෙනා මේහෙම කියපි.

"මේ වගේ පිළිමයක් කිසි දවසක මිනිස්සු උස්සලා ගෙනිහින් නෑ. දොඹකරයක් ගේන්ඩ වෙනවා.."

ඒ කතාව අහපු හැමෝම මානසිකව බිංදුවට වැටුනා. දැන් හැමෝම තමන් අදුරන දොඹකර වලට කෝල් කරනවා හැබැයි කිසි කෙනෙක් එන්නේ නෑ. මොකද? වෙලාව පාන්දර 1ට විතර ඇති. ඔන්න ඔය වෙලේ දෙයියෝ එව්වා වගේ රේල් පීලි දෙකක් ගෙනාව. (කවුරු ගෙනාවද? කොහොම ගෙනාවද? දන්නේ නෑ..)

පස්සේ ඒ පීලි දෙක පාවිච්චි කරලා පිළිමේ පීලි දෙක උඩ තල්ලු කරලා ලොරියට නැංගුවා. පිලිමෙත් අරගෙන කට්ටිය ගමට ආවේ මහා වීර ක්‍රියාවක් කරලා එනවා වගේ.


මේ තියෙන්නේ ඒ වැඩම කරපු පිළිමවහන්සේ තමා.......

ආයුබෝ වේවා....!

blog.................
ලියන්ඩ පටන්ගන්ඩයි ලැස්තිය. ජීවිතේ වැටුන තැන්, නැගිටපු තැන්, ලබපු අත්දැකීම්, සුන්දර මතක, දුක හිතුන තැන් මේ හැම දෙයක්ම. හැබැයි ලස්සනට අකුරු අමුනන්ඩ දන්නේ නැති උනාට මේ කියන දේවල් කිසිම කෙනෙකුට සත පහකට වැඩක් නැති උනාට. එකම එක කෙනෙක් මේ ලිපි වලින් අංශුමාත්‍රයක ප්‍රයෝජනයක් ගත්තොත් එක මට කප්පරක්.